Monday, November 29, 2021

දෙහිවල වැසියන්ගේ ආහාර නාස්තිය සහ ලාහුගල වැසියෝ..!

දෙගම්බඩ පහුර තීරුලිපි මාලාවට අද සටහන ලියන්නේ ලංකාවේ අඩුම දරිද්‍රතා අගය හිමි දෙහිවල සහ වැඩිම අගයක් හිමි ලාහුගල නැමති ගම් දෙක සම්බන්ධයෙනි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යාව පිළිබද ශාස්ත්‍රපති උපාධිය හදාරන ශිෂ්‍ය කණ්ඩායම මහාචාර්‍ය මයුර සමරකෝන් මහතාගේ උපදෙස් පරිදි නොවැම්බර් 18 සිට 20 දක්වා දක්වා අම්පාර දිස්ත්‍රීක්කයේ ලාහුගල නම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමීක්ෂණයක් කෙරෙිනි. ඒ සමීක්ෂණයට අරමුණ වුයේ කෝවිඩ් සමය තුල ජනතාව කෝවිඩ් සම්බන්ධයෙන් දැනුවත්වීම සහ අත්දැකීම් මෙන්ම ඔවුන්ගේ ආර්ථික, සමාජීය තත්වයට එය ඇතිකර තිබෙන බලපෑමත් කෝවිඩ් සමයේ එහි දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු පිළිබදව සොයා බැලීමයි. මේ සදහා සිසු සිසුවියන් 100ක් පමණ නිවාස 600 කට ආසන්න ප්‍රමාණයක් මෙහිදි ආවරණය කරන ලදි.

මා ඇතුළු මගේ කණ්ඩායමට ගැබුනේ පානම කෑලයට මායිම්වු නිරතුරුව අලි ඇතුළුවන යහපාලන රජයේ දින 100 කාලය තුල ගොඩනගන ලද නිවාස සහිත ගමකටය. මේ අධ්‍යයනය සිදුකිරිමේදි මවිසින් ඒහි එක් නිවසකදි ලද තොරතුරක් මෙම සටහන සදහා පදනම් වේ. 


ඒ නිවසේ සිටියේ අඩුවයසෙන් විවාහ වු කාන්තාවක් ස්වාමිපුරුෂයා සහ දරුවෙකි.  ස්වාමි පුරුෂයා යම් චෛත්‍යයක ඉදිකිරිම් සදහා සම්බන්ධ වන කම්කරුවෙකි.මේ සාකච්ඡාවේදි ඔවුන් තිදෙනාට ආහාර සදහා රු 10,000 ක්පමණ වියදම් වන බව අදාල කාන්තාව පැවසූ තොරතුර මේ සටහන සදහා නිමිත්ත වෙයි. රු 10,000 කින් පමණ මාසික ජීවිකාව සලසා ගන්නා එවැනි පවුල් රැසක් එම ගමේ ඇති බව එහි සැරිසරන විට දක්නට ලැබුනි. මෙම ප්‍රදේශයේ කොතරම් භූගෝලීය සම්පත් තිබුණත් මේ තරම් දරිද්‍රතාවයක් තිබෙන්නට සැබැවින්ම දේශපාලන අධිකාරිය, නිළධාරින් සියල්ලෝම එක හා සමාන අන්දමින් වග කිව යුතු බව ප්‍රකාශ කල යුතුවම ඇත. ඒ ගැන සටහනක් පසුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.

ලංකා සිතියමේ නැගෙනහිර මායිමේ ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට සමාන්තරව ලංකාවේ බටහිර සීමාවේ පිහිටි අනෙක් ප්‍රදේශීය ලේකම් කොට්ඨාශය වන්නේ දෙහිවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයයි. (මේ සමග ඇති සිතියමේ රූපසටහන බලන්න.) 


දෙහිවල ගල්කිස්ස මහා නගර සභාව විසින් පමණක් එම බලසීමාවෙන් මාසිකව කසල 3,200,000kg පමණ එකතුකර බැහැර කරයි. එහි දිරන කසල ප්‍රමාණය ආසන්න වශයෙන් 1,920,000kg වෙයි. මෙම දිරන කසල ප්‍රමාණයෙන් ආසන්න වශයෙන් 672,000kg කෑම පිගානෙන් ඉවතට විසි කරන ඉදුල්ය. එම ආහාර කොම්පෝස්ට් නිෂ්පාදනය කිරිම සදහා කරදියාන කසල අංගනයටත් බැහැර කරයි(සත්ව ආහාර සදහා එකතු කරන ඉදුල් ප්‍රමාණය ගණනය කොට නැත). 

මෙම ඉදුල් 672,000kg ප්‍රමාණය ආසන්න වශයෙන් ආහාර වේල් 960,000 කි. එය දිනකට වේල් 3 බැගින් සැලකුවහොත් දින 320,000 කට සරිලන ප්‍රමාණයකි. එය මාසයකට දින 30න් බෙදුවහොත් ආසන්න වශයෙන් මාසිකව 10,666 කට තුන්වේලම මාසයක් පමණ ගත හැකි ආහාර ප්‍රමාණයක්ය. ලාහුගල වෙසෙන සමස්ථ ජනතාව තුන්වේලක්ම භුක්තිවිදිය හැකි ආහාර ප්‍රමාණය දෙහිවල ගල්කිස්ස අපි නිකරුණේ විසිකරයි (එක් ආහාර වේලක් රු 100 ලෙස බර තැබුවහොත් මාසික ආහාර නාස්තියේ වටිනාකම රු 960,00,000 ක් වේ එනම් රුපියල් මිලියන 960කි).



ලංකාවේ එක අන්තයක ජනතාව තවත් අන්තයක ජනතාවට අනුභව කල හැකි ආහාර ප්‍රමාණයක්ම නාස්ති කරනු ලබන්නේ නම් මෙය අහිතකර තත්වයකි. විශාල සංවර්ධන විශමතාවයකි. සමාජ ගැටළුවකි. සංවර්ධන සංවර්ධනය යැයි කොතරම් හඩනාගා කියුවත් සැබැවින්ම මෙය සංවර්ධනයක්ද?  කෘෂිකර්මාන්තය, ධීවර සහ අනේකවිධි ආහාර සදහා නිෂ්පාදනයේ යෙදෙන කර්මාන්ත කරුවන්ගේ ශ්‍රමයේ අවසාන අපේක්ෂාව විනාශ කිරිමකි. ආහාර නිෂ්පාදන දාමයේ පිරිවැය නිර්ණය කරන ප්‍රධාන සාධකයක් වන්නේ ශ්‍රමයයි. ශ්‍රමයට අදාලව මිල බොහෝවිට තීරණය වන්නේ ජීවන වියදම පදනම් කොට ගෙන නිසා බොහෝවිට ශ්‍රමයට නියම වටිනාකමක් අදාල නිෂ්පාදනවට හිමිනොවේ. එබවින් මේ සිදුවන නාස්තියෙන් ආහාර නිෂ්පාදන දාමයේ සිටි ගොවියා‌ගේ සිට ආහාර පිසින්නා දක්වා දායක වී ඇති ශ්‍රම නාස්තියේ වටිනාකම කෙසේ තක්සේරු කරන්නේද ?

මේ ගැටළු සදහා කෙටි කාලීන විසදුම් සෙවීම ප්‍රායෝගික දුෂ්කරය. තිරසර සංවර්ධන 2030 ඉලක්ක වශයෙන් දක්වා ඇති තිරසර ජීවන රටා, ආහාර සහ බලශක්ති බාවිතය වැනි සංකල්ප සදහා වහා අපේ ජීවන රටා මාරුවන තෙක් මෙවැනි අර්බූද තව තවත් නිර්මාණය වීම නොවැලැක්විය හැකිය. මේ සදහා රටට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයකට ඉක්මනින් අනුගත විය යුතු අතර මේ සදහා දැනට පවතින කටපාඩම් අධ්‍යාපන විශය ධාරා වෙනුවට නව විශයධාරා පෙර පාසල් අවධියේ සිට හදුන්වා දිම එක් දිගුකාලීන විසදුමකි. සම්පත් සහ සම්පත් කළමණාකරනය, ආහාර සහ ආහාර පරිභෝජනය සහ නව නිෂ්පාදන සහ වෘත්තීය විශයයන් 1 වන ශ්‍රේණියේ සිට ක්‍රමානුකූලව පාසල් විශය ධාරාවන්ට එකතු කිරිමෙන් වසර 5ක් ඇතුලත යහපත් ප්‍රතිඵල උදා කර ගැනීමට දොරටු විවෘත කර ගැනීමට අවස්ථාව උදා කර ගත හැක.

සංවාදයට විවෘතයි..!








Monday, October 25, 2021

Made in SRI LANKA විසිකර එයම IMPORT කරන ඉංදියන් සාගරයේ (අ)මුතු ඇටය

හරි පුදුම ඉස්කෝලේ කියාලා පොතක් තියෙනවා.. මම ඒ්ක කියෙව්වේ දැනට වසර කිහිපයකට කලින්. පොතේ අන්තර්ගතයට සමාන නොවුනත් අපේ රට ගැන හිතද්දි නම් අපිට හිතන්න වෙන්නේ හරි පුදුම ලංකාවක් කියලයි. අපේ රටේ මේතාක් බුද්ධිමතෙක්ට ඉඩක් ලැබෙන පාටක් පේන්න නෑ. එක්තරා කාලයක ලංකාවේ රජයක් දුම්රිය සේවාවේ සිල්පර කොටන් වෙනුවට කොන්ක්‍රීට් සිලින්ඩර කොටන් ගැන උපදෙස් ගන්න ස්විස්ටර්ලන්තයෙන් විද්වත් පිරිසක් ගෙන්වුවා. නමුත් ඔවුන්ට අන්තිමට වුනේ ලංකාවේ කොන්ක්‍රිට් විශේෂඥයෙක් වෙච්ච ඉංජිනේරු ඒ එන් එස් කුලසිංහ නොහොත් කොන්ක්රීට් කුලසිංහ මහතාගෙන් උපදෙස් ගන්න. අවසානයේ ස්විස්ටර්ලන්තයෙන් ආපු අය කුලසිංහ මහතාගේ ක්‍රමය ලංකාවේ රජයට ක්‍රියාත්මක කරන්න කියලා උපදෙස් දීලා ගිය බව තමයි සදහන් වෙන්නේ. කුලසිංහ මහතා සම්බන්ධ මේ වගේ සිද්ධි ගණනාවක් වාර්තා වෙනවා.


කැළණිය ටයර් කම්හල ,යක්කල ලංකා ලෝහ කම්හල ඔරුවල වානේ කම්හල ඉදිකිරීම සඳහා මූලික අදහස කුලසිංහයන්ගේ ය. පසු ව 1962ජනවාරි 02 වනදාා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව පිහිටවා එහි සභාපති ධුරයට පත් වූ අතර 1970 වන විට මෙතුමා ව මෙම ඉංජිනේරු සංස්ථාවේ සභාපති ධූරයෙන් ඉවත් කිරීමට සියලු කුමන්ත්‍රණ සකස් වී තිබුණි. මේ සියලු තනතුරු හැර දමා කුල සිංහයන් මැලේසියාවට ගියේ ECATE නම් ජාත්‍යන්තර වැඩපිළිවෙළට සම්බන්ධ වීමටය. මැලේසියාව ඔහුව ඒ සඳහා සාදරයෙන් පිළි ගත්තේය. කුලසිංහයන් මැලේසියානුවන්ට කොන්ක්‍රීට් බෝට්ටු සෑදීමට අවශ්‍ය දැනුම ලබා දුන්නේ මේ කාලයේ දීය.මෙහිදී එක් දෛවෝපගත සිදුවීමක් සිදු විය.ලංකාවේ එවකට නිවාස අමාත්‍ය වරයා අඩු වියදම් නිවාස ගැන උපදෙස් ලබා ගැනීමට මැලේසියාවට ගියේය.එහි දී දේශන පැවැත්වූයේ ඉංජිනේරු සංස්ථාව ඉවතට විසි කළ ඉංජිනේරු කුලසිංහයන් වීම අමාත්‍යවරයා පුදුමයට පත්විය.


පොහොර සමාජ ගැටළුව

මීට වසර ගණනාවකට කලින් නැනෝ තාක්ෂණය ගැන මතය ආ දවස්වල ලංකාවේ(මේ අපේ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ) ඉංජිනේරු වරියක් මුල්වරට නැනෝ තාක්ෂණයෙන් නයිට්‍රජන් පොහොර දියරයක් නිෂ්පාදනය කරලා තියෙනවා. නමුත් එදා මෙදා තුල ලංකාවේ කිසිදු රජයක් මේ ගැන කිසිදු සහයෝගයක් දීලා නෑ. මේ සදහා ලංකාවට පේටන්ට් බලපත්‍ර 3 ක් ලැබිලා තියෙනවා. දැන් එක පේටන්ට් එකක හිමිකාරිත්වය තියෙන්නේ ඉංදියාවට.(තියාගෙන ඉදලා වැඩක් නැති නිසා වැඩක් ගන්න පුළුවන් කෙනකුට විකුණලා). දැන් ලංකාවේ පොහොර ප්‍රෂ්නය උඩුදුවලා. ඒ අතර අර නැනෝ තාක්ෂණයෙන් නිෂ්පාදනය කරපු නයිට්‍රජන් දියර පොහොර ලංකාවට ඉන්දියාවෙන් එනවා. හරි පුදුම ලංකාව වෙන්නේ එහෙමයි.

අපේ එකෙක් කලාම අගයක් නෑ. ඒ්ක පිටරැටියෙක්ගෙන් ආවම තමයි අපේ රටට වටින්නේ.

බලන්න මේ විඩියෝව මේ පොහොරෙන් ඇති ප්‍රතිලාබය..






 

Tuesday, October 5, 2021

අපේ සර්ට මගේ අභියෝගය..

 

සිදුහත් කුමරු සාරාසංඛ්‍යෙ කල්පලක්ෂයා පුරා එකට පැමිණි යශෝධරා රාහුල කුමරු තනිකර දමා ගිය එක හරිද වැරදිද කියලා මගෙන් ආදරණීය ගුරුවයෙක් ඇහුවා..

මම සමාජ විද්‍යාව හදාරපු කෙනෙක් නෙමේ...

සර්ට මගේ අභියෝගය..

සමාජ විද්‍යාවේ පියාට වඩා සිදුහත් කුමාරයා ගත්ත තීන්දුව හරිද වැරදිද ?

සමාජ විද්‍යාවේ පියා ලෙස සැලකෙන ඔගස්ට් කොම්ට 1825 දී  කැරොලින් මෙසින් නම් කාන්තාව හා විවාහවෙයි. ඇය ගණිකාවක් හා අවජාතක තරුණියක් බව පැවසේ. කෙසේ වෙතත් මෙම විවාහයට කොම්ටගේ ධනවත් දෙමාපියන් දැඩිසේ විරුද්ධවූ බව පැවසේ.1826 දී කොම්ටි මානසික රොගියකු ලෙස මානසික රොහලට පවා ඇතුලත් වීමට සිදුවූ බව කියැවේ. 1827 දී ඔහු සියදිවි නසාගැනීමටද උත්සහ කලේය. නමුත් 1839 දි පමණ සමාජ විද්‍යාව නමින් විශ්‍යක් නිර්මාණය කිරීමට මොහු සමත් විය.

මොහු 1827 දි කළකිරිම නිසා සිය දිවි නසා ගත්තේ නම් එමිල් ධුර්කයිම්ට සියදිවි නසා ගැනීම් ගැන මතයක් ප්‍රකාශ කරන්නට ලැබෙන්නේද නැත. සමාජ විද්‍යාවක්ද නැත.

සිදුහත් කුමාරයා සතර පෙර නිමිති දැක, නිළියන්ගේ විකාරත් දැක කළකිරි සිටි අවස්ථාවේ රාහුල කුමාරයගේ ඉපදිම නිසා(සර්ට හිමිනමක් චන්න ඇමතිය සම්බන්ධ වෙනත් කරුණක් කියලා තියෙනවා. ඒ කරුණ සත්‍ය නම්) ඇතිවු පට්ට කලකිරීමෙන් ඔගස්ට් කොම්ට් මෙන් සිය දිවිනසා ගැනිම වැනි තීන්දුවක් නොගෙන අභිනිෂ්ක්‍රමණය වැනි සාධනීය තින්දුවක් ගැනීම සාධාරණ නොවන්නේද ?‍

Thursday, September 30, 2021

ගෙදර කව්රුත් නැති වෙලාවේ කොල්ලෙක් ගත්ත ආතල් එක...! 👫

මේ ළගදි දිනක යහළුවෝ පිරිසක් එක්ක ඉන්න වෙලාවක පැරණි කතා කතා කලා. අපේ ගමේ මිත්‍රයෙක් ගේ පුද්ගලික අත්දැකීමක් හෙයින් කථානායකයා ගනේෂ් ලෙස හදුන්වන්නම්.

ගනේෂ් පාසල් ගියේ කොළඔ ප්‍රසිද්ධ ජාතික පාසලකට. ඒ කාලේ ඉතින් සැටලයිට් ටීවී,අන්තර්ජාල පහසුකම්, සමාජජාලා, ජංගම දුරකථක මුකුත් නෑ. ඉතින් මීට වඩා හාත්පසින්ම වෙනස් පරිසරයක් තමයි තිබ්බේ. දැන් ඉතින් ගනේෂ් ගේ පංතියේ මිතුරන් කිහිප දෙනෙක් ඉන්න තැනක තවත් මිතුරෙක් ඇවිල්ලා කිව්වා මචං ෆිල්ම් එකක් දුවනවා මැජස්ටික් එකේ, කොල්ලෙක් ගෙදර තනියෙන් පට්ට ආතල් ගන්නවා.. බැලුවේ නැද්දකියලා. ඊට පස්සේ ඒ මිත්‍රයා එතැනින් ඉවත් වෙලා..

දැන් ගනේෂ්ටයි අනිත් යහළුවන්ටත් ඉවසගන්න බෑ... මේක ඉක්මනට බලනකම්..

මචං මොකද කරන්නේ.. පනිමුද ?

හරි යමහං....

දැන් සෙට් ඒක බම්බලපිටියට ගිහින් මැජෙස්ටිකට ඇතුළු වෙන්න ගිහින්. ඒ කාලේ දැන් ඔය තියෙන මැජෙස්ටික් සිටි එක නොවේ.. සම්පූර්ණයෙන් වෙනස් ... මතක අයට පුළුවන් සිහියට මවා ගන්න. දැන් මේ සෙට් එක ඇතුළු වෙන්න ඔන්න මෙන්න තියෙද්දි ගනේෂ්ලට වඩා වැඩිමල් අය්යලා වගේ කීප දෙනෙක් ඇවිල්ල..

අඩෝ... මෙහෙ වරෙන්.. උඔලා කොහේද මේ යන්නේ කියපං ඉක්මනට...

අය්යේ මේ ... අපි....

ආ... ඒහෙමද ..

මොකක්ද තොපිලාගේ ඉස්කෝලේ..

පාසලේ නම එක යාළුවෙක් කියලා..

ආ ඒකෙද ....  කෝ ගනින් පර්ස් එක ඇරපං...

ඇරලා පෙන්නපං.. අය්යලාගේ සද්දේ..

ගනේෂ් ලා ස්කූල් යුනිෆෝම් නිසා ටිකක් ගැස්සිලා බයවෙලා මේ වෙලාවේ..

ගනේෂ් ගේ මිතුරෙක්ගේ පර්ස් එකේ ලියුමක්.. ලියුමක් කිව්වට ඒක ආදර ලියුමක්..

මේක එයා හංගගන්න ගියා.. නමුත් වැඩේ වැරදුනා...

අර සෙට් එක දැක්කා ඒ්ක.

කෝ ගනින් මොකක්ද ඒක මෙහේ දීපං... ගෝරනාඩුව

මිත්‍රයා ක්ෂණයෙන් ඒ ලියුම චූටි චූටි කෑලි වලට ඉරලා දැම්මා.

වැඩේ පත්තු වුනා..

ආ මේක ඉරලා බේරිලා යන්න බෑ

කෑලි ටික එකතු කරලා තුන්පාරක් කියවපං ඔක්කෝම.. එතකං යන එක බොරු.. නැත්තම් යමං ඉස්කෝලේට...

ලියුම කියෙව්වාත් දැන් නම් ඉස්කෝලෙට යන්න බෑ..

ගනේෂ් එක්ක කොල්ලෝ ටික කොල කෑලි ටික එකතු කරලා ලියුම ආපහු එකතු කරලා ..

එක්කෙනා තුන් පාර ගානේ කියවලා.. ගනේෂ් ගේ මිත්‍රයා අහලා දැං අපි යන්නද අය්යේ..

ඒහෙම කොහේ යන්නද

වැදපං ලියුමට දන ගහලා.. ඊට පස්සේ පලයං..

දැන් ඉතිං සෙට් එක දන ගහලා වැදලා.. යන්න ලැහැස්ති වුනා..

පරිස්සමෙන් පලයං.. යකෝ අපිත් ඔය ඉස්කෝලේ තමයි..

යංතම් සැනසිල්ලක් ආවා ගනේෂ්ලට...

වරෙං ඉක්මනට යං..

ගියා හෝල් එක ඇතුලට..

නමුත් කිසි කලබලයක් නෑ.. එච්චර සෙනගත් නෑ...

කමක් නෑ... ඒ්ක වඩා හොදයි කියලා එක ලග පුටු කිහිපයක වාඩි වුනා..

දැන් ඉතින් මෝල් තද වෙලා.. ඉන්න බෑ අරූ ගන්න ආතල් ටික බලන්න

සිහින මවනවා හිතින් .. මෙහෙම ඇති ... අරහෙම ඇති කියලා

දැන්වීම් දාලා ටික වෙලාවකින් නම් ගම් දාලා

මෙන්න ෆිල්ම් එකේ නම වැටුනා ස්ක්‍රීන් එකේ..

හෝම් අලෝන් පාර්ට් 1 කියලා..

නිමි.




Wednesday, September 29, 2021

පොලොන්නරුවේ ඉන්ටර්ලොක් ගල්, සහල් සහ තවත් සිද්ධි ..!

පොලොන්නරුවේ ඉන්ටර්ලොක් ගල්, සහල් තව් සිද්ධි ..! 

මහින්ද රාජපක්ෂ පක්ෂ මහතා ජනාධිපතිව සිටි සමයේ එක ගමකට එක වැඩක්, ගම නැගුම ආදි වැඩසටහන් වලදි බොහෝ ග්‍රාමීය මාර්ග සදහා ඉන්ටර්ලොක් ඇල්ලීම සිදු කරනු ලැබීය. ඒ සමයේ මෛත්‍රිපාල සිරිසේන මහතා මහින්ද රාජපක්ෂ රජයේ ප්‍රබල ඇමතිවරයෙක් වන අතර දේශපාලනිකව පක්ෂයේ මහ ලේකම්ය. 

රටටම සහල් සැපැයුම්කරුවන් පොලොන්නරුවේ සිටිනවා සේම ඒ් හා සමාන බලසම්පන්න ඉන්ටර්ලෙක් ගල් සැපැයුම්කරුවෝද ඒ දිස්ත්‍රීක්කයේ සිටී. එම කාලයේ පෙරකී මාර්ග සංවර්ධන සදහා ඉන්ටර්ලෝක් ගල් ප්‍රධාව වශයෙන් සැපයූයේ පොලොන්නරුවේ ඉන්ටර්ලොක් ගල් නිෂ්පාදකයෙකු  යැයි පැවසේ.  එම නිෂ්පාදකයාගේ නිෂ්පාදන ලංකාව පුරා විවිධ  සංවර්ධන වැඩසටහන් සදහා බහුල ලෙස බාවිතා විය.

2015 ජනාධිපතිවරණය සදහා සිරිසේන මහතා මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉවත්ව වෙනමම මහින්ද රාජපක්ෂ මහතා සමග ඉදිරිපත්වීමෙන් දේශපාලන පොර පිටිය රත්විය. මේ අතර දිවයින පුරා පෙරකී ලෙස ඉන්ටලොක් ගල් ගෙන්වා ගත් සභා/ආයතන වල සභාපතිවරු පොලොන්නරුවේ අදාල සැපයුම්කරුට මුදල් ගෙවීම හිතා මතා ප්‍රමාද කල පුවත් සමාජය තුල කතා විය. 

පොලොන්නරුවේ බොහෝ පෞරාණික ස්ථාන/ සිද්ධස්ථාන වෙත මහජනයා ගමන් කරන මාර්ග/තීරු සදහා අතුරා ඇත්තේද ඉන්ටර්ලොක් ගල්ය. ඒ නිසා අදාල ආගමික නායකයින් සමග නිෂ්පාදකයා බොහෝ සම්බන්ධකම් ඇතිවීම ස්වාභාවිකයි.

පොලොන්නරු වැව්බැම්මේ ඉන්ටර්ලොක් ඇල්ලීමේ කතාන්දරයට චීවරය හරස් වීමත්, හාල් මෝල් වලින් රටේම මිනිස්සුන්ට සාධාරන මිලට සහල් අලෙවිකිරිමට බාධා කිරිමත්, රළපනාවට ඉන්ටර්ලොක් සැපයීමේ කොන්ත්‍රාත්තුවත් එකකට එකක් සම්බන්ධද, නොසම්බන්ධද යන වග නොදනී.

නානාත්ථ කායා - නානාත්ථ සංඥා 




Tuesday, September 28, 2021

ස්වභාවීක ගෑස් සහ යුගදනව් විකිණීම

ස්වභාවීක ගෑස් කතාව සහ ආණ්ඩුව සැබෑවටම යුගදනව් වික්කාද ?

එදාමෙදා තුර සහ අනාගතයෙත් නොනවතින මානව අවශ්‍යතාවයන් සංසිදුවීම වෙනුවෙන් අවශ්‍ය දෑ සම්පාදනය කිරිමට සිදුවන කාර්මික නිෂ්පාදන සහ සේවා අත්‍යාවශ්‍ය වේ. ඒ සදහා අවැසි බලශක්ති නිෂ්පාදනය කර ගැනීම උදෙසා කාලයෙන් කාලයට විවිධ උපක්‍රම බාවිතා කරයි. බාහු බලයෙන් ආරම්භ වු බලය, නිෂ්පාදන ක්‍රියාවලිය මේ නව නව මංසන්ධියකට පැමිණ තිබේ. ඒ අතර ස්වාභාවික ගෑස් සම්බන්ධයෙන්ද මේ දිනවල බොහෝ සෙයින් සාකච්ඡා වේ.

1 වන කාර්මික පුනරුදය සමයේ බාවිතා කරන ලද ගල් අගුරු තවමත් බාවිතා කරන අතර ඒ සමගම දැවි තෙල් බහුල ලෙස බාවිතා කරයි. පාරිසරික ගැටළු ඉහ වහා යත්ම ලොවපුර මේ සමයේ පුනර්ජනනීය බලශක්ති වශයෙන් සූර්‍ය බලය, සුළං බලය මෙන්ම පසුගිය දශකයක පෙර සිට ස්වභාවික ගෑස් සම්බන්ධයෙන්ද සාකච්ඡා වේ. නාවික ගමනාගමනය, බල ශක්ති බලාගාර සදහා මෙම ස්වාභාවික ගෑස් බාවිතයේ පහසුතාවය පිළිබද ආර්ථික සහ පාරිසරික මෙන්ම භුගෝලීය විද්‍යාඥයෝ ද සාධනීය අදහස් දක්වයි. [1]

 ශ්‍රී ලංකාව ප්‍රථම වරට බලශක්ති උත්පාදන අංශයට ද්‍රව ස්වාභාවික වායුව (එල්එන්ජී) හඳුන්වා දීමට යන බව පෙනේ. ඒය 2010 වසරේ දෙවන වරටත් ජනාධිපති වශයෙන් පත්වූ මහින්ද රාජපක්ෂ මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශයේ [3] ඉදිරි වසර කිහිපය තුල ඇතිවන බලශක්ති අර්බූදයට පිළියමක් ලෙස සම්ප්‍රදායික නොවන බලශක්ති ප්‍රභවයන් සදහා යොමු වන බව සදහන් කොට තිබිණි. එතුමාගේ ජයග්‍රහණයෙන් පසුව එම විකල්ප බලශක්ති වලින් LNG බලශක්තිය සදහා ඉදිරිපත් කරන ලැබූ යෝජනාවට ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රධානීන් සකස් කල වාර්තාවකින් මෙම LNG බලාගාර ස්ථාපනය කිරිම ඒකල සුදුසු නොවන බව ප්‍රකාශ කල නිසා එම යෝජනාව 2010 දි යටපත් විය. එහි ප්‍රතිවිපාක 2010 සිට මේ දක්වා විවිධ විවිධ කාල වල රටේ සමස්ථ ජනතාව විදුලිය නොමැතිවීමෙන් සහ අධික ගාස්තු ගෙවිමෙන්ද පාරිසරික විපත් ඉක්මන් කර ගනිමින්ද භුක්ති විදිමින් සිටී. කරුණු කෙසේ වූවත් වත්මන් රජය මධ්‍යම රාත්‍රි 12.06 ට හෝ මෙම වියදම් අධික සහ පාරිසරික හානිය සාපේක්ෂව වැඩි ඩීසල් බලාගාරයක් සම්පූර්ණයෙන් LNG බලාගාරයක් බවට පරිවර්තනය කිරිම සදහා ගිවිසුම් ගත වීමක් පිළිබද වාර්තා විය.

 LNG යනු පිරිසිදු හා සාපේක්ෂව පරිසර හිතකාමී බලශක්ති ප්‍රභවයකි. මෙහි පරිසර දූෂණය වීම අනෙකුත් බාවිත බලශක්ති වන දැවිතෙල් සහ ගල්අගුරු වලින් සිදුවන පරිසර හානිය අවම වේ.  ලංකාවේ දැනට මධ්‍යගත බලශක්ති උත්පාදනය සඳහා වඩාත්ම ලාභදායී බලශක්ති ප්‍රභවයක් වන්නේ ගල් අඟුරු වුනත් පාරිසරික හානිය ඉහලයි. [2]

සාම්ප්‍රදායික තාප ප්‍රභවයන් දහනය කිරීමේදී තාපය මුදා හරින ප්‍රධාන දහනය කළ හැකි කාරණා (උදා: LNG, ජෛව ස්කන්ධය, ගල් අඟුරු, ඉන්ධන තෙල් ආදිය) කාබන් සහ හයිඩ්‍රජන් ය. LNG හි කාබන් සහ හයිඩ්‍රජන් අතර අනුපාතය 3:1 l ක් වන අතර  දැවි තෙල් වල එය 7:4 ක් වන අතර ගල් අඟුරු වල එම අගය 13:6 වේ.  C:H අනුපාතයේ යේ හයිඩ්‍රජන් අගය වැඩිවෙත්ම පරිසර හිතකාමි බව වැඩිවේ. දළ කැලරි වටිනාකම තුලින් ප්‍රභවයේ කාර්‍යක්ෂමතාවය මනී.  මෙහි කාර්යකෂමතාවයන් පිලිවලින් LNG 52,358 kJ/kg ඉන්ධන දැවි තෙල් 43,942kJ/kg සහ ගල් අඟුරු 26,365 kJ/kg වශයෙන් වෙයි. එල්එන්ජී දහන තාක්‍ෂණයේ දහන කාර්‍යක්‍ෂමතාවය සහ තාප හුවමාරුවෙහි ක්‍රියාකාරිත්වය අනෙක් භාණ්ඩ දෙක දහනය කරන පද්ධති වලට සාපේක්ෂව ඉහළ ය. පිරිසිදු මීතෙන් වායුවේ දහන කාර්යක්ෂමතාව ඉතාමත් ඉහලයි. .[2]  LNG වල පිරිසිදු මීතේන් ප්‍රමාණය 90% ට වඩා පවතී. දැඩි LNG වල මීතෙන් 90% අමතරව ඊතේන් සහ ප්‍රොපේන් ද අඩංගුව ඇති අතර සැහල්ලු LNG වල එම අගය 95%කි. මේ අනුව LNG වල ජ්වලන  ඌෂ්ණත්වය මීතේන් හි ජ්වලන ඌෂ්ණත්වයට හා ආසන්න වේ. මෙහි කාර්‍යක්ෂමතාව ඉහල යැයි පැවසෙන්නේ එහෙයිනි. [1]  

එයට හේතුව ඉහළ දැල්ලක උෂ්ණත්වය සහ දහන වාතය සමඟ LNG  නිසි ලෙස මිශ්‍ර වීම නිසා සම්පූර්ණ දහනය සඳහා අවශ්‍ය වන අතිරික්ත වාතය අඩු වීමයි. එම නිසා LNG මඟින් උත්පාදනය කරන්නේ ඉන්ධන දැවි තෙල් වලට වඩා 30% ක් පමණ අඩු කාබන් ඩයොක්සයිඩ් (CO2) සහ ගල් අඟුරු වලට වඩා 45% ක් අඩු ප්‍රමාණයකි. ඉන්ධන දහනයේදී ජනනය වන ජල වාෂ්ප (H2O) ද හරිතාගාර වායුවක් වන නමුත් වාෂ්පීකරණය හා වර්ෂාපතනය තුළින් ස්වාභාවික චක්‍රයක් සමඟ සම්බන්ධ වන බැවින් CO2 වැනි වායුගෝලයේ ජල වාෂ්ප එකතු වීමක් සිදු නොවේ. 

ස්වාභාවික වායුව දහනය කිරීමෙන් සබන්, දූවිලි හෝ දුම නිකුත් නොවන අතර පරිසරයට අහිතකර සල්ෆර් ඩයොක්සයිඩ් (SO2) විමෝචනය නොවේ. LNG හි නයිට්‍රජන් නොමැති වීම සහ දහනය වැනි දියුණු දහන තාක්‍ෂණයන් භාවිතා කිරීමේ හැකියාවත් සමඟ නයිට්‍රජන් ඔක්සයිඩ් (NO2) විමෝචනය දෙගුණයකින් අඩු වීම නිරීක්ෂණය කළ හැකිය. එම නිසා අනෙකුත් පොසිල ඉන්ධන වලට වඩා LNG භාවිතය තුළ ආවේනික වාසියක් ඇත. 

LNG හි ප්‍රධාන ආර්ථික වාසිය නම් විමධ්‍යගත බල උත්පාදන පද්ධති වල ඉන්ධන ලෙස භාවිතා කිරීමයි. දුරස්ථ ස්ථාන වලින් ගල් අඟුරු හෝ අධික ඉන්ධන තෙල් උපයෝගී කරගනිමින් විදුලිය නිපදවීමේ ක්‍රියාවලිය අකාර්යක්ෂම වන අතර එයට මුලින්ම තාප ශක්තිය නිපදවීම අවශ්‍ය වන අතර එය විදුලිය බවට පත් කළ හැක්කේ 40% ක පමණ කාර්යක්ෂමතාවයකි. නමුත් නිවර්තන දේශගුණික තත්ත්වයන් තුළ නවීන දෙමුහුන් චක්‍ර හෝ වාණිජමය වශයෙන් ලබා ගත හැකි ඒකාබද්ධ චක්‍ර (combine cycle) යටතේ 50%  පමණ දක්වා ඉහළ යා හැක. මෙම  40 % විදුලිය නිෂ්පාදන ක්‍රියාවලිය සිදුවී පාරිභෝගිකයාගේ අතට පත්වෙත්දී ඉතිරි තාපය 60% ක් අපද්‍රව්‍ය තාපය ලෙස පරිසරයට මුදා හරිනු ඇත. තාපය දිගු දුරකට ආර්ථික වශයෙන් මාරු කළ නොහැක. එම නිසා, දැනට ලංකාවේ තිබෙන සාම්ප්‍රදායික මධ්‍යගත බල උත්පාදන පද්ධති ඉන්ධන භාවිතය අතින් අඩු ඵලදායිතාවයකින් යුක්ත ය. එල්එන්ජී පිරිසිදු හා ආර්ථික වශයෙන් ප්‍රවාහනය කළ හැකි ඉන්ධනයක් වන හෙයින්, විදුලිය හා තාපය විශාල ප්‍රමාණයක් පරිභෝජනය කරන තොග බලශක්ති පාරිභෝගිකයින්ට ආසන්නව ක්‍රියාත්මක වන සම-උත්පාදන සහ ත්‍රි-උත්පාදන පද්ධති භාවිතා කරමින් විමධ්‍යගත විදුලි උත්පාදනය ඉන්ධන පරිභෝජනයේ ඵලදායිතාව ඉහළ නංවයි. 

බලශක්ති පාරිභෝගිකයින්ට එකවර විදුලිය, උණුසුම සහ සිසිලනය භාවිතා කිරීමේ අවශ්‍යතාවය ඇත. බොහෝ දුරට වායු සමීකරණය සඳහා බලශක්ති ප්‍රභවයක් වන්නේ විදුලිය වන අතර උණුසුම සඳහා ඉන්ධන තෙල් භාවිතා කෙරේ. විදුලිය, උණුසුම සහ සිසිලනය එකවර නිෂ්පාදනය කරන ත්‍රි-උත්පාදන පද්ධති පිළිබඳ ප්‍රධාන සංකල්පය පදනම් වී ඇත්තේ මෙම අපද්‍රව්‍ය තාපය වායුසමීකරණය සඳහා හෝ වෙනත් සිසිලන හෝ තාපනය සඳහා භාවිතා කිරීම මත ය. කාබන් ඩයොක්සයිඩ් විමෝචනය අවම කිරීම යනු ත්‍රි පරම්පරාවේ අත්‍යවශ්‍ය අංගයක් වන අතර එය එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව, යුරෝපය සහ ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර විසින් අනුවර්තනය කරන ලද කාර්යක්ෂම බලශක්ති නිෂ්පාදනය සඳහා බෙදා හරින ලද ක්‍රමයකි. මෙය විදුලි උත්පාදන ක්‍රියාවලියේදී ජනනය වන තාපය සඳහා ව්‍යාපාර වටිනාකමක් සපයයි. අවශ්‍ය විදුලිය සහ තාපය එම ස්ථානයේම නිපදවන බැවින් අඩු බලශක්ති ව්‍යාප්තිය/සම්ප්‍රේෂණ අලාභය ද සාක්ෂාත් කරගනු ලැබේ. සාපේක්ෂව අඩු දහන උෂ්ණත්වයක් ඇති අනෙකුත් තාප ප්‍රභවයන්ට වඩා ඉහළ උෂ්ණත්ව බලශක්ති ප්‍රභවයන්ගෙන් තාපය වඩාත් කාර්යක්ෂමව විදුලිය බවට පත් කළ හැකිය. එම නිසා, මේ ආකාරයට අපට පොසිල ඉන්ධන තාපන යෙදීම් වලට වඩා ඵලදායි ලෙස භාවිතා කළ හැකිය.

ලංකාවේ මුලින්ම ස්වාභාවික ගෑස් නිධි පිළිබද ගවේෂණය කලේ 1967දීය. මේ සදහා සම්බන්ධ වූයේ කැම්පේන් ජෙනරල් ද ජියෝෆිසික් නම් ප්‍රංශ සමාගමකි. ප්‍රමාණවත් නිධි නොමැති නිසා එය අතරමග නැවතුනු අතර මින් පසු නැවතත් සෝවියට් දේශයේ ආධාර ඇතිව 1974 දී ගවේෂණය කල අතර පේසාලේ 2,3 වශයෙන් නිධි අනාවරණය කර ගත්තත් ප්‍රමාණවත් නොවන නිසා අත්හැර දැමීය. නැවතත් 1975 දී කාවේරි ද්‍රෝණියේ කැණීම් සිදු කලත් එය අතරමග නැවතුනු අතර ද්වීමාණ භූ කම්පන තොරතුරු ආධාරයෙන් 1976 දි නැවතත් වෙස්ටන් ජීයෝෆිසිකල් සමාගම විසින් ඩෙල්ෆ් දූපත අසල ළිං දෙකක් කැණීමට ගිවිසුම් අත්සන් කලහ.  1984 දීද ෆීනික්ස් කැනඩා ඔයිල්, පෙට්‍රෝ කැනඩා සහ ශ්‍රී ලංකා තෙල් සංස්ථාව අතර ත්‍රෛපාර්ෂ්වික ගිවිසුමක් අත්සන් කලේය. 

මෙසේ වරින් වර 2001 දී නෝර්වේජියානු ටීජීඒස් නොපෙක් ආයතනයත්, 2002 දි නිව් සවුත් ග්ලෝබල් ආයතනයත් මේ සදහා උත්සහා දරා ඇත. 2007 දී මන්නාරම් බෝක්ක ආශ්‍රිතව ප්‍රමාණවත් තෙල් සංචිත ප්‍රමාණයක් ඇති බව සෑහීමකට පත් වීමේන් කිමි 4600 ක් පමණ දුරකට දත්ත රැස් කර තිබිනි. 2008 වසරේදි චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගේ රජයේදී ඉන්දියානු කෙයාන් සමාගම ගිවිසුම් අත්සන් කරන ලද අතර මීටර් 7000 ක් පමණ ගැඔුරට ගවේෂණය කිරිමේන් හයිඩ්‍රෝකාබන ඇති බවට සාක්ෂී ලැබී තිබේ. මෙම ගිවිසුම අනුව කටයුතු කි‌රිම සදහා එවකට රජය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 125ක් පමණ දරා ඇති අතර මෙම කාල පරිච්ඡේදය සදහා විවිධ අවස්ථාවලදි විශාල ආයෝජනයක් කර ඇති බවද සැකයක් නැත. එම රජය විසින් කරන ලද ආයෝජන වල වටිනාකම බොහෝ විට ණය පදනම් මත ලබා ගත් ඒ්වා විය හැක. 

යහපාලන රජය සමයේත් මේ සදහා පර්යේෂණ රැසක් කර ඇති අතර මන්නාරම් ද්‍රෝණියේ බැරකියුඩා සහ තවත් ස්ථානයක මෙම ස්වාභාවික ගෑස් සහ ඛනිජ තෙල් ඇති බව වාර්තා වේ. ලංකාවේ මුල්ම වරට 2023 දි පමණ ස්වාභාවික ගෑස් කැනීම් වලින් ලබා ගත හැකි බවත් 2023 වන දේශීය LNG විදුලි බලාගාර සදහා ස්වභාවික ගෑස් ලබා ගත හැකි බවත් වත්මන් බලශක්ති අමත්‍යාංශ වෙබ් පිටුවේ දැක්වේ. 

මෙම LNG බලාගාරය ස්ථාපනය කිරිමෙන් ජනිත වන විදුලියෙන් විදුලි ඒකකයක් රු 12කට පමණ නිෂ්පාදනය කර ගත හැකි අතර ඩීසල් දහනය කිරිම සදහා ඒ්කකයට රු 20 ක් පමණ වැය වේ. ඒ නිසා ආර්ථික වශයෙන් දැවි තෙල්/ඩීසල් වලට වඩා විදේශ විනිමය ඉතිරියක් කර ගැනීම සදහා විශාල රුකුලකි. විදුලි ඒකකයට නිෂ්පාදන වියදම අඩුවීමේ වාසිය නව සේවකයන් බදවා ගැනීම සහ ඉංජිනේරු සහ විධායකයන්ගේ වැටුප් හෝ දීමනා වැඩි කර ගැනීමට යොදා ගනී නම් මෙම පරිවර්ථනයෙන් ජනතාවය සහනයක් නොලැබේ. මෙහි සහනය ජනතාවට මෙන්ම කර්මාන්ත කරුවන්ට ලබා දුනහොත් නිෂ්පාදන වියදම විශාල අඩු කර ගැනීමෙන් ලංකාවේන් වෙනත් රටවලට ගෙන ගිය කර්මාන්ත නැවතත් ආරම්භ කිරිමටත් එතුලින් රැකියා උත්පාදනය සිදු කර ගැනීමට හැකියාව පවතී. මීට අමතරව පාරිසරික හානි අංශයෙන් සැලකූ විට ගල් අගුරු සහ දැවිතෙල් දහනය සමග සංසන්දනාතමකව සැලකුවහොත්  එම හානිය සාපේක්ෂව අඩුය. 

දැනට ලංකාවේ ක්‍රියාත්මක කරන යුගදනව් ඩීසල් විදුලි බලාගාරය LNG බවට පරිවර්ථනය කිරිම සදහා ගිවිසුම් ගත වන්නේ මේ අතරය. මෙම ගිවිසුම් ගතවීම යුගදනව් බලාගාරය ඇමරිකාවට විකුණා ඇති බවත් විපක්ෂ සහ වෙනත් සංවිධාන චෝදනා කලත් එය සැබෑවක් නොවන බව පැහැදිලිය. ඒ පිළිබදව පහත සටහනේ දැක්වේ.  FORTREES යනු ඇමරිකාවේ පිළිගත් ආයතනයක් වන අතර මෙයින් යමක් ඔවුන්ට නැතිනම් කිසිසේත් ආයෝජනය නොකරයි.  ඔවුන් මෙම ආයෝජනය කර ඇත්තේ සහ ලක්දනව් ආයතනයේ කොටස් මිලදී ගෙන ඇත්තේ වසර 15කට වේ. මේ සමාගම ලංකාවේ ආයෝජනයත් සමග තවත් වෙනත් සමාගම් ලංකාවේ ආයෝජන අවස්ථා සදහා නැඔුරුවීමේ තත්වයක් උද්ගත කරවා ගත හැකි අතර එය රටේ සංවර්ධන කාර්‍යයයට යොදා ගත හැක. මෙම Fortrees ආයතනය සමග ගිවිසුම් ගත වීමේ සිද්ධිය ලංකාවේ මහජනතාවට තේරුම් ගත හැකි අකාරයට මෙය සමස්ථ ආයතනයම විකුණා දැමීමක් නොව භාණ්ඩාරය සතු කොටස් වලින් 40% ක් පමණක් විකිණිමක් පමණක් බවත් ලංකා රජයට සහ අනුබද්ධ ආයතන වලට 75% ක අයිතියක් ඇත යනුවෙන් පැහැදිලි කර නොදීම අභාග්‍යකි.

 

දෙගම්බඩ පහුර | 20210928

 

මුලාශ්‍ර

1. M Aciak, Possibilities of Liquefied Natural Gas (LNG) use for power generation, 214 012138, 2019

2. Jayasekara. Dr Saliya, PROMISING ADVANTAGES OF SWITCHING POWER SECTOR FROM  FUEL OIL/COAL TO LNG, The Official E-Newsletter of the IESL, March 2021, Colombo. 

3. මහින්ද චින්තනය ඉදිරි දැක්ම, 105 වන පිටුව



Saturday, September 25, 2021

පවුරු බලකොටු වැනි කොන්ක්‍රීට් ගොඩනැගිලි තැනීමට අනුමත කරන අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය

උසස් පෙළ සදහා අළුත්ම යෝජිත වෘත්තීය විශය ධාරාව නවත්වා හකුළුවන්නේ ඇයි ?

 වෘත්තීය අධ්යාපනය සරළව කිව්වොත් වෙළඳ කටයුත්තක්, කාර්මික ශිල්පියෙක් හෝ විශේෂ කුසලතා ඇති කෙනෙක් බිහි කරන ක්‍රමයක්. විවිධ රැකියාවල නිරත වීමට මිනිසුන් සූදානම් කරන නැතිනම් ශ්‍රම බලකාය සූදානම් කරන අධ්යාපන මෙවලමක් වශයෙන්ද දැක්විය හැකියි. වෘත්තීය තාක්ෂණ විශ්ව විද්යාලයක්. විශ්ව විද්යාල විද්යාල. වෘත්තීය තාක්ෂණ විද්යාල යනු වෘත්තීය අධ්යාපනය ලබා දීම සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද අධ්යාපන ආයතනයක්ද වෙනවා. මේ වන විට විශ්ව විද්‍යාල කොමිසම් සභාව විසින්

CITY CAMPUS යනුවෙන් ප්‍රාදේශීය වශයෙන් ගැලපෙන විශ්ව විද්‍යාල පද්ධතියක්ද සති කිහිපයකට කලින් ආරම්භ කලා.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වශයෙන් සිටි සමයේ එතෙක් අපොස උසස් පෙළ සදහා පැවති විශය ධාරා තුනට අමතරව නව තාක්ෂණ විශය ධාරා තුනක් ආරම්භ කලා. ඒවා

1.      කලා විද්‍යා විශය ධාරාව

2.      වානිජ විද්‍යා විශය ධාරාව

3.      ‌ජෛව විද්‍යා විශය ධාරාව

4.      භෞතික විද්‍යා විශය ධාරාව

5.      ‌ජෛව පද්ධති තාක්ෂණවේදය

6.       ඉංජිනේරු තාක්ෂණවේදය

වශයෙන් දැනටමත් ක්‍රියාක්මක වෙනවා. දැනට පවතින කලා උපාධිය කරනවාට වඩා ඉංජිනේරු තාක්ෂණවේදය ඉතාමත් ඉදිරියෙන් කියන්න පුළුවන් සාධකයක අත්දැකීමක් තියෙනවා. වසරකට පමණ පෙර ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ කැන්ටිමේ අප දිවා ආහාරය ගනිමින් සිටි මේසයේ තවත් ශිෂ්‍යාවක් දිවා ආහාරය ගනිමින් සිටියා. ඇය සමග සාකච්ඡා කිරිමේදි ඇය ගොඩනැගිලි තාක්ෂණවේදය හදාරන අවසන් වසරේ සිසුවියක්. ඇය ඒ වනවිටත් ඒ අවස්ථාවේ කර ගෙන යන උපාධිය නිසාම පුද්ගලික ඉදිකිරිම් සමාගමක රු 80,000 ක පමණ වැටුපක් දරන කෙනෙක්. උපාධිය සමත් වූ සැනින් ඒය ඉලක්කම් 6 ක් බවට පරිවර්ථනය බවක් තමයි ඇය පැවසුවේ.

ඒ විතරක් නොවේ මොරටු සරසවියේ තියෙවා Fashion Designing උපාධී පාඨමාලවක්. ඒකට මීට වසර කිහිපයකට කලින් නම් වසරකට ඇතුලත් කර ගත්තේ 50 කට අඩු සංඛ්‍යාවක්. ඒම උපාධිය ලැබූ බොහෝ දෙනෙක් සදහාත් වැටුප් ලැබෙන්නේ ඉලක්කම් 6කින්.

ඒ නිසා මේ ගිරාපෝතක අධ්‍යාපන ක්‍රම වලින් මිදිලා වෘත්තීය අධ්‍යාපන විශය ධාරා 8 වන ශ්‍රේණියේ සිට වත් ආරම්භ කල යුතු කාලයක අපි මේ ඉන්න්.

ඒ වුනත් එවා ක්‍රියාත්මක කිරිමේ කුමක් හෝ අවපාතයක් ඇති බව නම් පේනවා.

එසේ පේන්නේ ලංකාවේ දැන් පවතින උසස් පෙළ විශය ධාරාවන්ට අළුත් විශය ධාරාවක් සදහා චක්‍රලේඛයක් 2017දි 2017/37 අංකය යටතේ නිකුත් වෙලා තියෙනවා.

ඒ අනුව පළමු කණ්ඩායම 2019 ඔක්තෝබර් සිට ආරම්භ කිරිමටයි සැලැසුම් කර ඇත්තේ. ඒම ක්‍රමය පහත පරිදියි

------------------------------------------------------------------

13 වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන - 2017

Ø සෑම දරුවකුම 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා අඛණ්ඩ පාසල් අධ්‍යාපනයක් ලබාදීමේ අරමුණ ඇතිව මෙම වැඩසටහන හදුන්වා දී ඇත.

Ø අ.පො.ස.(සා/පෙළ) පෙනී සිටින සියලු සිසුන්ට සමත් අසමත්භාවය නොසලකා ඇතුලත්වීමට ඉඩ සැලසීම

Ø අනාගත අභියෝග ජයගතහැකි වෘර්තීය අධයාපනයක් අරමුණු කිරීම

Ø 07 වන විෂය ධාරාව ලෙස වෘර්තීය විෂය ධාරාව හදුන්වා දීම.

 

ප්‍රධාන සංරචක 03 කි

1.     පොදු විෂය ක්ෂේත්‍රය ( 12 වන ශ්‍රේණියේ පළමු වාරය)

            මේ සදහා ඇති විශයන්

·        පළමු බස ( සිංහල හෝ   දෙමළ )

·        ව්‍යවහාරික ඉංග්‍රීසි   හා සන්නිවේදන කුසලතා

·        සෞන්දර්ය රසාස්වාදය

·        තොරතුරු හා සන්නිවේදන   තාක්ෂණ කුසලතා

·        පුරවැසිභාවයට අදාල   කුසලතා

·        සමාජ යහපැවැත්ම සදහා   අවශ්‍ය සෞඛ්‍ය හා ජීවන කුසලතා

·        ව්‍යවසායකත්ව කුසලතා

·        ක්‍රීඩා හා අනෙකුත්   විෂය සමගාමී ක්‍රියාකාරකම්

·        වෘත්තීය මාර්ගෝපදේශ   වැඩසටහන්

 

II. ව්‍යවහාරික විෂය ක්ෂේත්‍රය (12 වන ශ්‍රේණියේ 2 සහ 3 වාර)

  පහත විෂයන් අතරින් විෂයන් 03 ක් සිසුන් විසින් තෝරාගත යුතුය.

I. ළමා මනෝවිද්‍යව හා ආරක්ෂණය

II. සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණය

III. ශාරීරික අධ්‍යාපනය හා ක්‍රීඩා

IV. ප්‍රාසාංගික කලාව

V. කාර්ය සිද්ධි කළමණාකරණය

VI. ශිල්ප කලා

VII. අභ්‍යන්තර නිර්මාණකරණය

VIII. විලාසිතා නිර්මාණකරණය

IX. ග්‍රැපික් නිර්මාණකරණය

X. කලාව හා පිරිසැලසුම්කරණය

XI. භූ දර්ශන නිර්මාණකරණය

XII. ව්‍යවහාරික විද්‍යා තාක්ෂණ අධ්‍යයනය

XIII. පශු සම්පත් නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයනය

XIV. ආහාර නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයනය

XV. ජලජ සම්පත් තාක්ෂණ අධ්‍යයනය

XVI. වැවිලි භෝග නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයනය

XVII. ඉදිකිරීම් තාක්ෂණ අධ්‍යයනය

XVIII. මෝටර් යාන්ත්‍රික තාක්ෂණ අධ්‍යයනය

XIX. විදුලිය හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණ අධ්‍යයනය

XX. පේෂකර්ම හා ඇගලුම් තාක්ෂණ අධ්‍යයනය

XXI. ලෝහ සැකසුම් තාක්ෂණ අධ්‍යයනය

XXII. ඇලුමීනියම් පිරිසැකසුම් තාක්ෂණ අධ්‍යයනය

XXIII. මෘදුකාංග සංවර්ධනය

XXIV. වෙබ් නිර්මාණකරණය

XXV. සංචරණය හා ආගන්තුක සත්කාර

XXVI. පාරිසරක අධ්‍යයනය

 

III. ආයතනික වෘත්තීය පුහුණුව (13 වන ශ්‍රේණි වසර පුරා)

12 වන ශ්‍රේණියේදී තෝරාගත් ව්‍යවහාරික විෂයන් තුනෙන් එක් විෂයයක් පමණක් 13 ශ්‍රේණියේදී හැදෑරිය යුතුය.

පාසල විසින් හදුන්වාදෙන ආයතනයක වෘත්තීය පුහුණුව ලබා දෙනු ලැබේ.

මෙම පුහුණුව අවසානයේ ජාතික අධ්‍යාපන ආයතනය මගින් පවත්වන පරීක්ෂණයකින් පසුව NVQ – 4වෘර්තීය සහතිකයක් ලබා දෙනු ඇත. ඉන් අනතුරුව වයඹ විශ්ව විද්‍යාලය හරහා උපාධිය දක්වා ගමන් කල හැකි වේ.

මෙය 2019 වසරේ සිට පාසල් 43 ක පමණ ක්‍රියාත්මක කිරිමට නියමිතව තිබූ අතර ක්‍රියාත්මක විනි නම් මේ වන විට එය අනෙක් පාසල් වලටද ආදේශ වි තිබිය යුතුයි.

මේ පිළිබද අධ්‍යාපන බලධාරින් නිද්‍රශීලි බවකින් යුක්ත ඇයි ? පාසල් සහ සහ විශ්ව විද්‍යාල වල බලකොටු වැනි කොන්ක්‍රිට් ගොඩනැගිලි සංවර්ධනයක් කරනවා විනා අධ්‍යාපන බලධාරින් අධ්‍යාපන ක්‍රමයේ ගුණාත්මක වෙනසක් නොකරන්නේ ඇයි ?

(සංවාදයට විවෘතයි)