Tuesday, April 30, 2013

දැන ඉගෙන ගත්තම - තමයි කෙනෙකුගේ වත්කම

"දැන ඉගෙන ගත්තම
 තමයි කෙනෙකුගේ වත්කම
 ගුණ නුවණ දැක්කම
 සළකයි රටේ ඔක්කොම "

පසුගිය දවසක මට ලැබුනා නුගේගොඩ අනුලා විද්‍යාලයේ කණිෂ්ඨ ශිෂ්‍ය නායක පත් කිරීමේ උත්සවයකට සහභාගී වන්න. එහිදි .ගරු විදුහල්පතිනිය ඉහතින් දැක්වෙන කවිය සිය කතාවේදී සදහන් කලා. ඇය එම කවිය ශිෂ්‍ය නායකයෙකුට ගැලපෙන අන්දම මැනෙවින් පැහැදිලි කලා. දින කීපයකට පසු මට ලැබුනා අවස්ථාවක් බ්ලොග් කරුවන් විසින් සංවිධානය කරනු ලැබූ ලේ දන්දිමේ පිංකමකට සහභාගී වෙන්න. සොයුරු උමන්ද ගේ ආරාධනාවෙන්. ඒක තිබ්බේ වැල්ලවත්තේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ. ඒ පන්සලේ ධර්ම ශාලාවේත් ඔය කවිය සදහන් කරලා තිබ්බා.

"දැන ඉගෙන ගත්තම - තමයි කෙනෙකුගේ වත්කම"

මේ ගැන සිතිය යුතුයි. මොනව ඉගෙන ගත්තොත් ද අපිට එය වත්කමක් වෙන්නේ. ඉස්සර නම් කිව්වා උගත මනා ශිල්පය මයි මතු රැකෙනා කියලා. එය තවදුරටත් වලංගුද? අද අප ඉගෙන ගන්නා තියෙන දේවල් අනාගතයට වලංගුද ? එය මෙසේ සංස්කරණය වුනොත්, "මතු රැකෙනා ශිල්පය මයි උගත මනා ලෙස".

එය කාලයට වලංගුයි මට සිතෙන විදිහට. මතු රැකෙනා ශිල්පය මයි උගත මනා වී "දැන ඉගෙන ගත්තම - තමයි කෙනෙකුගේ වත්කම" යන්න සාර්ථක වෙන්නේ. එහෙයින් අනාගතය සාර්ථක කර ගත ශිල්ප අනාගතයට ගැලපෙන ශිල්ප නිදහස් පාසල් අධ්‍යාපන ධාරාවන්ට එකතු කිරීම අද බලධාරීන්ගේ වගකීමක්. ඒ වගේම සමාජයේ ප්‍රමිතියක් ඇතිව පවත්වාගෙන යන පුද්ගලික ආයතන තුල ඇති පාඨමාලා පිලිබදව ද සිසුසිසුවියන්ට දෙමාපියන්ට අවබෝධය ලබාදීම වැදගත්.

"ගුණ නුවණ දැක්කම - සලකයි රටේ ඔක්කෝම"

පසුගිය 27 වෙනිදා දෙහිවල ගල්කිස්ස නගරාධීපති ධනසිරි අමරතුංග මැතිතුමා විසින් සංවිධානය කරනු ලැබු එරබදු වසන්තය බක්මහ උත්සවය තිබුනා. එකේ ළමුන්ට තිබුනා අංගයක් විවිධ ඇදුම් තරගය යනුවෙන්. එම තරගය සදහා ඉදිරිපත් වෙච්ච එක දුවෙක් රෙද්දයි හැට්ටෙයි ඇදගෙන ආවා වේදිකාවට. ඇය ගැමි තරුණියක් යනුවෙන් හදුන්වා දුන්නා. පසුව ගීතයක් වාදනය කරන්න යැයි ඉල්ලීමක් කලා රංගනයක් ඉදිරිපත් කරන්න. අනතුරුව පසුබිමෙන් ගීතයක් වාදනය වුනා. මේ දුව රෙද්ද දණහිසේ ඉහලම තැනට උස්ස උස්සම නටන්නට වුනා. යටින් කලිසමක් වැනි දෙයක් ඇද තිබුනත් ඇයගේ රංගනයට නරඹන්න සිටි අය විසිල් ගසමින් අත් පොලොසන් නාද දුන්නා. ඇය නික්මෙන කොට උණුසුම් ප්‍රතිචාර ඇයට ලැබුනා. එහි නිවේදන කටයුතු කරමින් සිටි මම ඇයගේ නීක්මිමත් සමගම නරඹන්නන්ට පැවසුවා ඒ දියණිය රංගනයෙන් ඉදිරිපත් කලේ ඔබ රූප පෙට්ටියෙන් ඇයට පෙන්වන දේ කියලා. සිනාසීසි වේදිකාව ඉදිරිපිට සිටි වැඩිහිටියන්ගේ මුහුණු මැලවිලා ගියා මට තේරුණා.

සභ්‍යත්වය විකුණා මාධ්‍යන් බලවත්වී අප ගිලගනිමින් සිටින කලක නුවණ වැඩි උනත් ගුණ දම් පවතීද? කොතරම් වලංගුද? එහෙම ගිය කලක සලකයිද රටේ ඔක්කෝම

ඔවි.එහෙම තමයි අද වෙන්නේ. අද ගුණදම් සභ්‍යත්වය මාධ්‍ය විසින් විනාස කර දමන කාලයක්. ජනප්‍රිය ගායක යුවලක් දික්කසාද වුනා. දෙදෙනාට දියණියක්ද සිටියා.ගායිකාව වෙනමත් ගායකයා වෙනත් සාපේක්ෂව ලාබාල තරුණියක් විවාහ කර ගෙන අළුතින් ජීවිතය පටන් ගත්තා යැයි පැවසුවා. දැන් ඒ අයටත් දරුවන් ඉන්නවා. පසුව රූපවාහිනි නාලිකාවක වැඩසටහනක මේ දෙන්නා දික්කසාද වීමේ විස්සෝපය ගැන කියන ගීතයක් ගායනා කරනවා එකට. දැන් එම ගීතයට හොද ඉල්ලුමක් තියෙනවා. ගායිකාව කියනවා මම ආසාවෙන් බලා හිටියේ නැවතත් ඒ ගායකයත් එක්ක එකට ගීයක් ගයන්න කියලා. ගායකයත් ඒක කියනවා. ඒ පුවත මාධ්‍ය මගින් පුළුල්ව යනවා. මේ දෙන්නා එකට ගායනා කරන ගීතය අහන්න මිනිස්සු එනවා. බොහොම ලංවෙලා ගීත ගයනවා. හැගුම්බරව.

බලන් ඉන්න ප්‍රේක්ෂකයා හිතනවා විවාහය කියන්නේ මොන තරම් බොරු වැඩක්ද කියලා.මේ අයුරින් අසම්මත විවාහ සමාජගත කරනවා. නුවණ තිබුනත් ගුණ යහපත් කම් නැතිවුනත් සමාජය ගරු කරනවා අද කාලේ.

එබැවින් ගුණ නුවණ දැක්කම - සලකයි රටේ ඔක්කෝම කොතරම් වලංගුද අද?

චුට්ටක් හිතන්න.

No comments:

Post a Comment