Monday, November 29, 2021

දෙහිවල වැසියන්ගේ ආහාර නාස්තිය සහ ලාහුගල වැසියෝ..!

දෙගම්බඩ පහුර තීරුලිපි මාලාවට අද සටහන ලියන්නේ ලංකාවේ අඩුම දරිද්‍රතා අගය හිමි දෙහිවල සහ වැඩිම අගයක් හිමි ලාහුගල නැමති ගම් දෙක සම්බන්ධයෙනි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යාව පිළිබද ශාස්ත්‍රපති උපාධිය හදාරන ශිෂ්‍ය කණ්ඩායම මහාචාර්‍ය මයුර සමරකෝන් මහතාගේ උපදෙස් පරිදි නොවැම්බර් 18 සිට 20 දක්වා දක්වා අම්පාර දිස්ත්‍රීක්කයේ ලාහුගල නම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමීක්ෂණයක් කෙරෙිනි. ඒ සමීක්ෂණයට අරමුණ වුයේ කෝවිඩ් සමය තුල ජනතාව කෝවිඩ් සම්බන්ධයෙන් දැනුවත්වීම සහ අත්දැකීම් මෙන්ම ඔවුන්ගේ ආර්ථික, සමාජීය තත්වයට එය ඇතිකර තිබෙන බලපෑමත් කෝවිඩ් සමයේ එහි දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු පිළිබදව සොයා බැලීමයි. මේ සදහා සිසු සිසුවියන් 100ක් පමණ නිවාස 600 කට ආසන්න ප්‍රමාණයක් මෙහිදි ආවරණය කරන ලදි.

මා ඇතුළු මගේ කණ්ඩායමට ගැබුනේ පානම කෑලයට මායිම්වු නිරතුරුව අලි ඇතුළුවන යහපාලන රජයේ දින 100 කාලය තුල ගොඩනගන ලද නිවාස සහිත ගමකටය. මේ අධ්‍යයනය සිදුකිරිමේදි මවිසින් ඒහි එක් නිවසකදි ලද තොරතුරක් මෙම සටහන සදහා පදනම් වේ. 


ඒ නිවසේ සිටියේ අඩුවයසෙන් විවාහ වු කාන්තාවක් ස්වාමිපුරුෂයා සහ දරුවෙකි.  ස්වාමි පුරුෂයා යම් චෛත්‍යයක ඉදිකිරිම් සදහා සම්බන්ධ වන කම්කරුවෙකි.මේ සාකච්ඡාවේදි ඔවුන් තිදෙනාට ආහාර සදහා රු 10,000 ක්පමණ වියදම් වන බව අදාල කාන්තාව පැවසූ තොරතුර මේ සටහන සදහා නිමිත්ත වෙයි. රු 10,000 කින් පමණ මාසික ජීවිකාව සලසා ගන්නා එවැනි පවුල් රැසක් එම ගමේ ඇති බව එහි සැරිසරන විට දක්නට ලැබුනි. මෙම ප්‍රදේශයේ කොතරම් භූගෝලීය සම්පත් තිබුණත් මේ තරම් දරිද්‍රතාවයක් තිබෙන්නට සැබැවින්ම දේශපාලන අධිකාරිය, නිළධාරින් සියල්ලෝම එක හා සමාන අන්දමින් වග කිව යුතු බව ප්‍රකාශ කල යුතුවම ඇත. ඒ ගැන සටහනක් පසුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.

ලංකා සිතියමේ නැගෙනහිර මායිමේ ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට සමාන්තරව ලංකාවේ බටහිර සීමාවේ පිහිටි අනෙක් ප්‍රදේශීය ලේකම් කොට්ඨාශය වන්නේ දෙහිවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයයි. (මේ සමග ඇති සිතියමේ රූපසටහන බලන්න.) 


දෙහිවල ගල්කිස්ස මහා නගර සභාව විසින් පමණක් එම බලසීමාවෙන් මාසිකව කසල 3,200,000kg පමණ එකතුකර බැහැර කරයි. එහි දිරන කසල ප්‍රමාණය ආසන්න වශයෙන් 1,920,000kg වෙයි. මෙම දිරන කසල ප්‍රමාණයෙන් ආසන්න වශයෙන් 672,000kg කෑම පිගානෙන් ඉවතට විසි කරන ඉදුල්ය. එම ආහාර කොම්පෝස්ට් නිෂ්පාදනය කිරිම සදහා කරදියාන කසල අංගනයටත් බැහැර කරයි(සත්ව ආහාර සදහා එකතු කරන ඉදුල් ප්‍රමාණය ගණනය කොට නැත). 

මෙම ඉදුල් 672,000kg ප්‍රමාණය ආසන්න වශයෙන් ආහාර වේල් 960,000 කි. එය දිනකට වේල් 3 බැගින් සැලකුවහොත් දින 320,000 කට සරිලන ප්‍රමාණයකි. එය මාසයකට දින 30න් බෙදුවහොත් ආසන්න වශයෙන් මාසිකව 10,666 කට තුන්වේලම මාසයක් පමණ ගත හැකි ආහාර ප්‍රමාණයක්ය. ලාහුගල වෙසෙන සමස්ථ ජනතාව තුන්වේලක්ම භුක්තිවිදිය හැකි ආහාර ප්‍රමාණය දෙහිවල ගල්කිස්ස අපි නිකරුණේ විසිකරයි (එක් ආහාර වේලක් රු 100 ලෙස බර තැබුවහොත් මාසික ආහාර නාස්තියේ වටිනාකම රු 960,00,000 ක් වේ එනම් රුපියල් මිලියන 960කි).



ලංකාවේ එක අන්තයක ජනතාව තවත් අන්තයක ජනතාවට අනුභව කල හැකි ආහාර ප්‍රමාණයක්ම නාස්ති කරනු ලබන්නේ නම් මෙය අහිතකර තත්වයකි. විශාල සංවර්ධන විශමතාවයකි. සමාජ ගැටළුවකි. සංවර්ධන සංවර්ධනය යැයි කොතරම් හඩනාගා කියුවත් සැබැවින්ම මෙය සංවර්ධනයක්ද?  කෘෂිකර්මාන්තය, ධීවර සහ අනේකවිධි ආහාර සදහා නිෂ්පාදනයේ යෙදෙන කර්මාන්ත කරුවන්ගේ ශ්‍රමයේ අවසාන අපේක්ෂාව විනාශ කිරිමකි. ආහාර නිෂ්පාදන දාමයේ පිරිවැය නිර්ණය කරන ප්‍රධාන සාධකයක් වන්නේ ශ්‍රමයයි. ශ්‍රමයට අදාලව මිල බොහෝවිට තීරණය වන්නේ ජීවන වියදම පදනම් කොට ගෙන නිසා බොහෝවිට ශ්‍රමයට නියම වටිනාකමක් අදාල නිෂ්පාදනවට හිමිනොවේ. එබවින් මේ සිදුවන නාස්තියෙන් ආහාර නිෂ්පාදන දාමයේ සිටි ගොවියා‌ගේ සිට ආහාර පිසින්නා දක්වා දායක වී ඇති ශ්‍රම නාස්තියේ වටිනාකම කෙසේ තක්සේරු කරන්නේද ?

මේ ගැටළු සදහා කෙටි කාලීන විසදුම් සෙවීම ප්‍රායෝගික දුෂ්කරය. තිරසර සංවර්ධන 2030 ඉලක්ක වශයෙන් දක්වා ඇති තිරසර ජීවන රටා, ආහාර සහ බලශක්ති බාවිතය වැනි සංකල්ප සදහා වහා අපේ ජීවන රටා මාරුවන තෙක් මෙවැනි අර්බූද තව තවත් නිර්මාණය වීම නොවැලැක්විය හැකිය. මේ සදහා රටට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයකට ඉක්මනින් අනුගත විය යුතු අතර මේ සදහා දැනට පවතින කටපාඩම් අධ්‍යාපන විශය ධාරා වෙනුවට නව විශයධාරා පෙර පාසල් අවධියේ සිට හදුන්වා දිම එක් දිගුකාලීන විසදුමකි. සම්පත් සහ සම්පත් කළමණාකරනය, ආහාර සහ ආහාර පරිභෝජනය සහ නව නිෂ්පාදන සහ වෘත්තීය විශයයන් 1 වන ශ්‍රේණියේ සිට ක්‍රමානුකූලව පාසල් විශය ධාරාවන්ට එකතු කිරිමෙන් වසර 5ක් ඇතුලත යහපත් ප්‍රතිඵල උදා කර ගැනීමට දොරටු විවෘත කර ගැනීමට අවස්ථාව උදා කර ගත හැක.

සංවාදයට විවෘතයි..!