Wednesday, January 5, 2022

ජංගි හොරා...!

 

ඊයේ රාත්‍රීයේ වැල්ලවත්ත පැරණි රොක්සි වර්තමානයේ සැවෝයි ප්‍රිමියර් සිනමා ශාලාවට මගේ මිතුරන් තිදෙනෙකු සමග ගියේ සෑම සමාජයකම දැකිය හැකි චරිතයක් සම්බන්ධ කතා පුවතක් මත නිර්මාණය වූ චිත්‍රපටියක් බලන්න.


මෑතක සිට සමාජ විද්‍යාව පිළිබද උනන්දුවක් දක්වන නිසා මේ චිත්‍රපටිය බලන්න මාව පෙළඹුවා කිව්වොත් එය වැරදි නෑ. අපි ගියේ රාත්‍රී 8.30 දර්ශනය බලන්න නිසා අපි 8 වෙන කොට එතැනට ගියා. ඒ වෙනකොටත් 6.30 දර්ශනය තිරගත වෙමින් තිබුනා. එම සිනමා ශාලාව කළුජූලියෙන් පස්සේ විනාශ කරලා මේ වන විට ජාත්‍යන්තර මට්ටමේ එකක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. වාහන පහුසුකම් ද එමටයි. මම එහි ගේට්ටුවෙන් මගේ වාහනය ඇතුලු කරත් නවත්වන්න තැනක් හොයා ගත්තේ බොහොම අමාරුවෙන්. ඒ තරටම වාහන වලින් රථගාල පිරිලා. වාහනත් එසේ මෙසේ ඒ්වා නොවේ ඔක්කෝම වගේ කෝටි බාගයකට එහා ඒ්වා වගේ තිබ්බේ.  ඒ තරටම පූර්ව දැන්වීම් සහ මෙහි නමේ ආකර්ශණීය බවක් තියෙන්න ඇති මෙවැනි කාලයක එවැනි වෙලාවක එපමණ පිරිසක් ඉන්න. ඒවගේම වැදගත්ම දෙයක් තමයි තරුණ සහ වැඩිහිටි ජෝඩු රැසක්ද පැමිණ තිබුනා. සමහරු එක්ක තරුණ දූ පුතුන්ද සිටියා.


අද වගේ නොවේ ඒ කාලේ ඇදුම් සුලබ නොමැති නිසාත් කාන්තා යට ඇදුම් අද වගේ ප්‍රසිද්ධියේ වෙළදාම් නොකල නිසාත් කාන්තා යට ඇදුමක් පවා නැතිවුවහොත් ඒ පිළිබද සොයා බලන ගතියක් තිබුනා. අපේ ගමෙත් මම කුඩා කාලයේදි සෝමපාල නමින් කාන්තා යට ඇදුම් හොරකම් කරන කෙනෙකු සිටියා.  අවට කාන්තාවක්ගේ යට ඇදුමක් නැතිවුවහොත් කට්ටිය මුලින්ම හොයන්නේ සෝමපාල ගේ නිවසේ ඇදේ  මෙට්ටේ යට.


මේ චිත්‍රපටිය ඇත්තටම ජංගි හොරෙක් ගැන කිව්වාට අපි හිතන දෙයට වඩා සාමාජීය ගැටළුවක් මේක වටා තියෙනවා. කෙනෙක් ලිංගිකව ක්‍රියාකාරකම් වලට යොමුවීම කියන කාරණය සදහා යම් යම් හේතු ඇති බව මේ චිත්‍රපටිය තුල මැනවින් විද්‍යමාන කරනවා. ප්‍රතිවිරුද්ධ ලිංගිකයෙකුට තුරුළුවීම, උණුසුම්වීම සහ ලිංගික කටයුතු සදහා යොමුවීමේ ගැටළු නිසා පවුල් වල පුරුෂ කාන්තා දෙපාර්ශවයම විදින සන්තාපය මේ තුලින් මවා ගන්න පුළුවන්. මෙහි ප්‍රධාන චරිතය කරන අවිවාහක තරුණයා භාවිතා කල ජංගි හොරකම් කිරිම වැනි කටයුතු නිසා එම නිවසේ සේවිකාව විසින් කූට ලෙස ලිංගිකත්වය ප්‍රයෝජනයට ගනිමින් තම පියයුරුවක් ඇල්ලීමට රු 200 බැගින් අය කරගනී. මෙය කසාද ජෝඩුවකට ආදේශ කර ගතහොත් පුරුෂයා විසින් කාන්තාව සතුටු නොකරන්නේද කාන්තාව විසින් පුරුශයා සතුටු නොකරන්නේද එතැන සමාජ ප්‍රෂ්නයක් නිර්මාණය විය හැකි තැනක් බවට මේ සිතුවම පැහැදිලි කරනවා. ඒ නිසා ගණිකා වෘත්තීය, ස්පා නමින් ස්ථාපනය වී ඇති සම්බාහන මධ්‍යස්ථානය සහ නවතම වෙළදාම වන ලිංගික ක්‍රියාකාරකම් වලින් තොර තුරුළුවී සිටිමට පමණක් ඉඩ දී මුදල් අයකරන ස්ථාන වගේ වෙළද ස්ථාන වර්ධනය වන්නේ ඒකි ගැටළුව නිසා බව සිතිය හැකියි. තම නිවසේ හෝ සයනයේ කටයුතු කළමණාකරනය කර ගන්නා විට බොහෝදුරට පෙරකි ස්ථාන වල වර්ධනය සහ ඉල්ලුම ද අඩුවී යා හැක. 


එය පැහැදිලි කරන සිදුවීමක් මනා ලෙස මෙම සිතුවම තුල ඇත. රු 200 කට සේවාකාව වන කරුණාගේ තනක් ඇල්ලීම සදහා පුරුදු වි සිටි තරුණයා ඔහුව නිසි මගට ගැනීම සදහා තම සහෝදරයාගේ බිරිද කරන උත්සහය මනාව සිතුවම් කර ඇත. තමන්ට විවාහයක් තිබුනා නම් ඒ නිසා මුදල් වියදම් නොවන බවත් මිනිසුන්ගෙන් ගුටිකෑමට සිදු නොවන බවත් තේරුම් කර දෙයි. එහිදි එම තරුණයා විවාහ වීම සදහා කැමති වන අතර එතෙක් සහෝදරයාගේ බිරිද ඒ සදහා පමණක් අවස්ථාව ලබා දෙන බව ප්‍රකාශ කල නිසා කරුණා ගේ පියයුරුවක වටිනාකම රු 200 සිට 50 දක්වා අඩුවූවත් වෙළදාමක් සිදුනොවීය.


ඒ නිසා මෙම චිත්‍රපටිය සැබැවින්ම සමාජයේ සිටින ජංගි හොරුන් ගැන මතුපිටින් කතා කලද එහි අභ්‍යන්තරය පවුල් සංස්ථාවල සැමියා සහ බිරිද අතර සිදුවන ක්‍රියාවලියේ වෙනස්වීමත්, සැමියාට බිරිද හෝ බිරිදට සැමියා අහිමි වීමෙන් ද අවිවාහකව සිටීමෙන්ද සිදුවිය හැකි සමාජ ගැටළුවක් පිළිබද සාකච්ඡා කළ හැකි ප්‍රතිනිර්මාණයකි.


ඔබත් ගිහින් බලන්න..!