Tuesday, September 28, 2021

ස්වභාවීක ගෑස් සහ යුගදනව් විකිණීම

ස්වභාවීක ගෑස් කතාව සහ ආණ්ඩුව සැබෑවටම යුගදනව් වික්කාද ?

එදාමෙදා තුර සහ අනාගතයෙත් නොනවතින මානව අවශ්‍යතාවයන් සංසිදුවීම වෙනුවෙන් අවශ්‍ය දෑ සම්පාදනය කිරිමට සිදුවන කාර්මික නිෂ්පාදන සහ සේවා අත්‍යාවශ්‍ය වේ. ඒ සදහා අවැසි බලශක්ති නිෂ්පාදනය කර ගැනීම උදෙසා කාලයෙන් කාලයට විවිධ උපක්‍රම බාවිතා කරයි. බාහු බලයෙන් ආරම්භ වු බලය, නිෂ්පාදන ක්‍රියාවලිය මේ නව නව මංසන්ධියකට පැමිණ තිබේ. ඒ අතර ස්වාභාවික ගෑස් සම්බන්ධයෙන්ද මේ දිනවල බොහෝ සෙයින් සාකච්ඡා වේ.

1 වන කාර්මික පුනරුදය සමයේ බාවිතා කරන ලද ගල් අගුරු තවමත් බාවිතා කරන අතර ඒ සමගම දැවි තෙල් බහුල ලෙස බාවිතා කරයි. පාරිසරික ගැටළු ඉහ වහා යත්ම ලොවපුර මේ සමයේ පුනර්ජනනීය බලශක්ති වශයෙන් සූර්‍ය බලය, සුළං බලය මෙන්ම පසුගිය දශකයක පෙර සිට ස්වභාවික ගෑස් සම්බන්ධයෙන්ද සාකච්ඡා වේ. නාවික ගමනාගමනය, බල ශක්ති බලාගාර සදහා මෙම ස්වාභාවික ගෑස් බාවිතයේ පහසුතාවය පිළිබද ආර්ථික සහ පාරිසරික මෙන්ම භුගෝලීය විද්‍යාඥයෝ ද සාධනීය අදහස් දක්වයි. [1]

 ශ්‍රී ලංකාව ප්‍රථම වරට බලශක්ති උත්පාදන අංශයට ද්‍රව ස්වාභාවික වායුව (එල්එන්ජී) හඳුන්වා දීමට යන බව පෙනේ. ඒය 2010 වසරේ දෙවන වරටත් ජනාධිපති වශයෙන් පත්වූ මහින්ද රාජපක්ෂ මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශයේ [3] ඉදිරි වසර කිහිපය තුල ඇතිවන බලශක්ති අර්බූදයට පිළියමක් ලෙස සම්ප්‍රදායික නොවන බලශක්ති ප්‍රභවයන් සදහා යොමු වන බව සදහන් කොට තිබිණි. එතුමාගේ ජයග්‍රහණයෙන් පසුව එම විකල්ප බලශක්ති වලින් LNG බලශක්තිය සදහා ඉදිරිපත් කරන ලැබූ යෝජනාවට ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රධානීන් සකස් කල වාර්තාවකින් මෙම LNG බලාගාර ස්ථාපනය කිරිම ඒකල සුදුසු නොවන බව ප්‍රකාශ කල නිසා එම යෝජනාව 2010 දි යටපත් විය. එහි ප්‍රතිවිපාක 2010 සිට මේ දක්වා විවිධ විවිධ කාල වල රටේ සමස්ථ ජනතාව විදුලිය නොමැතිවීමෙන් සහ අධික ගාස්තු ගෙවිමෙන්ද පාරිසරික විපත් ඉක්මන් කර ගනිමින්ද භුක්ති විදිමින් සිටී. කරුණු කෙසේ වූවත් වත්මන් රජය මධ්‍යම රාත්‍රි 12.06 ට හෝ මෙම වියදම් අධික සහ පාරිසරික හානිය සාපේක්ෂව වැඩි ඩීසල් බලාගාරයක් සම්පූර්ණයෙන් LNG බලාගාරයක් බවට පරිවර්තනය කිරිම සදහා ගිවිසුම් ගත වීමක් පිළිබද වාර්තා විය.

 LNG යනු පිරිසිදු හා සාපේක්ෂව පරිසර හිතකාමී බලශක්ති ප්‍රභවයකි. මෙහි පරිසර දූෂණය වීම අනෙකුත් බාවිත බලශක්ති වන දැවිතෙල් සහ ගල්අගුරු වලින් සිදුවන පරිසර හානිය අවම වේ.  ලංකාවේ දැනට මධ්‍යගත බලශක්ති උත්පාදනය සඳහා වඩාත්ම ලාභදායී බලශක්ති ප්‍රභවයක් වන්නේ ගල් අඟුරු වුනත් පාරිසරික හානිය ඉහලයි. [2]

සාම්ප්‍රදායික තාප ප්‍රභවයන් දහනය කිරීමේදී තාපය මුදා හරින ප්‍රධාන දහනය කළ හැකි කාරණා (උදා: LNG, ජෛව ස්කන්ධය, ගල් අඟුරු, ඉන්ධන තෙල් ආදිය) කාබන් සහ හයිඩ්‍රජන් ය. LNG හි කාබන් සහ හයිඩ්‍රජන් අතර අනුපාතය 3:1 l ක් වන අතර  දැවි තෙල් වල එය 7:4 ක් වන අතර ගල් අඟුරු වල එම අගය 13:6 වේ.  C:H අනුපාතයේ යේ හයිඩ්‍රජන් අගය වැඩිවෙත්ම පරිසර හිතකාමි බව වැඩිවේ. දළ කැලරි වටිනාකම තුලින් ප්‍රභවයේ කාර්‍යක්ෂමතාවය මනී.  මෙහි කාර්යකෂමතාවයන් පිලිවලින් LNG 52,358 kJ/kg ඉන්ධන දැවි තෙල් 43,942kJ/kg සහ ගල් අඟුරු 26,365 kJ/kg වශයෙන් වෙයි. එල්එන්ජී දහන තාක්‍ෂණයේ දහන කාර්‍යක්‍ෂමතාවය සහ තාප හුවමාරුවෙහි ක්‍රියාකාරිත්වය අනෙක් භාණ්ඩ දෙක දහනය කරන පද්ධති වලට සාපේක්ෂව ඉහළ ය. පිරිසිදු මීතෙන් වායුවේ දහන කාර්යක්ෂමතාව ඉතාමත් ඉහලයි. .[2]  LNG වල පිරිසිදු මීතේන් ප්‍රමාණය 90% ට වඩා පවතී. දැඩි LNG වල මීතෙන් 90% අමතරව ඊතේන් සහ ප්‍රොපේන් ද අඩංගුව ඇති අතර සැහල්ලු LNG වල එම අගය 95%කි. මේ අනුව LNG වල ජ්වලන  ඌෂ්ණත්වය මීතේන් හි ජ්වලන ඌෂ්ණත්වයට හා ආසන්න වේ. මෙහි කාර්‍යක්ෂමතාව ඉහල යැයි පැවසෙන්නේ එහෙයිනි. [1]  

එයට හේතුව ඉහළ දැල්ලක උෂ්ණත්වය සහ දහන වාතය සමඟ LNG  නිසි ලෙස මිශ්‍ර වීම නිසා සම්පූර්ණ දහනය සඳහා අවශ්‍ය වන අතිරික්ත වාතය අඩු වීමයි. එම නිසා LNG මඟින් උත්පාදනය කරන්නේ ඉන්ධන දැවි තෙල් වලට වඩා 30% ක් පමණ අඩු කාබන් ඩයොක්සයිඩ් (CO2) සහ ගල් අඟුරු වලට වඩා 45% ක් අඩු ප්‍රමාණයකි. ඉන්ධන දහනයේදී ජනනය වන ජල වාෂ්ප (H2O) ද හරිතාගාර වායුවක් වන නමුත් වාෂ්පීකරණය හා වර්ෂාපතනය තුළින් ස්වාභාවික චක්‍රයක් සමඟ සම්බන්ධ වන බැවින් CO2 වැනි වායුගෝලයේ ජල වාෂ්ප එකතු වීමක් සිදු නොවේ. 

ස්වාභාවික වායුව දහනය කිරීමෙන් සබන්, දූවිලි හෝ දුම නිකුත් නොවන අතර පරිසරයට අහිතකර සල්ෆර් ඩයොක්සයිඩ් (SO2) විමෝචනය නොවේ. LNG හි නයිට්‍රජන් නොමැති වීම සහ දහනය වැනි දියුණු දහන තාක්‍ෂණයන් භාවිතා කිරීමේ හැකියාවත් සමඟ නයිට්‍රජන් ඔක්සයිඩ් (NO2) විමෝචනය දෙගුණයකින් අඩු වීම නිරීක්ෂණය කළ හැකිය. එම නිසා අනෙකුත් පොසිල ඉන්ධන වලට වඩා LNG භාවිතය තුළ ආවේනික වාසියක් ඇත. 

LNG හි ප්‍රධාන ආර්ථික වාසිය නම් විමධ්‍යගත බල උත්පාදන පද්ධති වල ඉන්ධන ලෙස භාවිතා කිරීමයි. දුරස්ථ ස්ථාන වලින් ගල් අඟුරු හෝ අධික ඉන්ධන තෙල් උපයෝගී කරගනිමින් විදුලිය නිපදවීමේ ක්‍රියාවලිය අකාර්යක්ෂම වන අතර එයට මුලින්ම තාප ශක්තිය නිපදවීම අවශ්‍ය වන අතර එය විදුලිය බවට පත් කළ හැක්කේ 40% ක පමණ කාර්යක්ෂමතාවයකි. නමුත් නිවර්තන දේශගුණික තත්ත්වයන් තුළ නවීන දෙමුහුන් චක්‍ර හෝ වාණිජමය වශයෙන් ලබා ගත හැකි ඒකාබද්ධ චක්‍ර (combine cycle) යටතේ 50%  පමණ දක්වා ඉහළ යා හැක. මෙම  40 % විදුලිය නිෂ්පාදන ක්‍රියාවලිය සිදුවී පාරිභෝගිකයාගේ අතට පත්වෙත්දී ඉතිරි තාපය 60% ක් අපද්‍රව්‍ය තාපය ලෙස පරිසරයට මුදා හරිනු ඇත. තාපය දිගු දුරකට ආර්ථික වශයෙන් මාරු කළ නොහැක. එම නිසා, දැනට ලංකාවේ තිබෙන සාම්ප්‍රදායික මධ්‍යගත බල උත්පාදන පද්ධති ඉන්ධන භාවිතය අතින් අඩු ඵලදායිතාවයකින් යුක්ත ය. එල්එන්ජී පිරිසිදු හා ආර්ථික වශයෙන් ප්‍රවාහනය කළ හැකි ඉන්ධනයක් වන හෙයින්, විදුලිය හා තාපය විශාල ප්‍රමාණයක් පරිභෝජනය කරන තොග බලශක්ති පාරිභෝගිකයින්ට ආසන්නව ක්‍රියාත්මක වන සම-උත්පාදන සහ ත්‍රි-උත්පාදන පද්ධති භාවිතා කරමින් විමධ්‍යගත විදුලි උත්පාදනය ඉන්ධන පරිභෝජනයේ ඵලදායිතාව ඉහළ නංවයි. 

බලශක්ති පාරිභෝගිකයින්ට එකවර විදුලිය, උණුසුම සහ සිසිලනය භාවිතා කිරීමේ අවශ්‍යතාවය ඇත. බොහෝ දුරට වායු සමීකරණය සඳහා බලශක්ති ප්‍රභවයක් වන්නේ විදුලිය වන අතර උණුසුම සඳහා ඉන්ධන තෙල් භාවිතා කෙරේ. විදුලිය, උණුසුම සහ සිසිලනය එකවර නිෂ්පාදනය කරන ත්‍රි-උත්පාදන පද්ධති පිළිබඳ ප්‍රධාන සංකල්පය පදනම් වී ඇත්තේ මෙම අපද්‍රව්‍ය තාපය වායුසමීකරණය සඳහා හෝ වෙනත් සිසිලන හෝ තාපනය සඳහා භාවිතා කිරීම මත ය. කාබන් ඩයොක්සයිඩ් විමෝචනය අවම කිරීම යනු ත්‍රි පරම්පරාවේ අත්‍යවශ්‍ය අංගයක් වන අතර එය එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව, යුරෝපය සහ ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර විසින් අනුවර්තනය කරන ලද කාර්යක්ෂම බලශක්ති නිෂ්පාදනය සඳහා බෙදා හරින ලද ක්‍රමයකි. මෙය විදුලි උත්පාදන ක්‍රියාවලියේදී ජනනය වන තාපය සඳහා ව්‍යාපාර වටිනාකමක් සපයයි. අවශ්‍ය විදුලිය සහ තාපය එම ස්ථානයේම නිපදවන බැවින් අඩු බලශක්ති ව්‍යාප්තිය/සම්ප්‍රේෂණ අලාභය ද සාක්ෂාත් කරගනු ලැබේ. සාපේක්ෂව අඩු දහන උෂ්ණත්වයක් ඇති අනෙකුත් තාප ප්‍රභවයන්ට වඩා ඉහළ උෂ්ණත්ව බලශක්ති ප්‍රභවයන්ගෙන් තාපය වඩාත් කාර්යක්ෂමව විදුලිය බවට පත් කළ හැකිය. එම නිසා, මේ ආකාරයට අපට පොසිල ඉන්ධන තාපන යෙදීම් වලට වඩා ඵලදායි ලෙස භාවිතා කළ හැකිය.

ලංකාවේ මුලින්ම ස්වාභාවික ගෑස් නිධි පිළිබද ගවේෂණය කලේ 1967දීය. මේ සදහා සම්බන්ධ වූයේ කැම්පේන් ජෙනරල් ද ජියෝෆිසික් නම් ප්‍රංශ සමාගමකි. ප්‍රමාණවත් නිධි නොමැති නිසා එය අතරමග නැවතුනු අතර මින් පසු නැවතත් සෝවියට් දේශයේ ආධාර ඇතිව 1974 දී ගවේෂණය කල අතර පේසාලේ 2,3 වශයෙන් නිධි අනාවරණය කර ගත්තත් ප්‍රමාණවත් නොවන නිසා අත්හැර දැමීය. නැවතත් 1975 දී කාවේරි ද්‍රෝණියේ කැණීම් සිදු කලත් එය අතරමග නැවතුනු අතර ද්වීමාණ භූ කම්පන තොරතුරු ආධාරයෙන් 1976 දි නැවතත් වෙස්ටන් ජීයෝෆිසිකල් සමාගම විසින් ඩෙල්ෆ් දූපත අසල ළිං දෙකක් කැණීමට ගිවිසුම් අත්සන් කලහ.  1984 දීද ෆීනික්ස් කැනඩා ඔයිල්, පෙට්‍රෝ කැනඩා සහ ශ්‍රී ලංකා තෙල් සංස්ථාව අතර ත්‍රෛපාර්ෂ්වික ගිවිසුමක් අත්සන් කලේය. 

මෙසේ වරින් වර 2001 දී නෝර්වේජියානු ටීජීඒස් නොපෙක් ආයතනයත්, 2002 දි නිව් සවුත් ග්ලෝබල් ආයතනයත් මේ සදහා උත්සහා දරා ඇත. 2007 දී මන්නාරම් බෝක්ක ආශ්‍රිතව ප්‍රමාණවත් තෙල් සංචිත ප්‍රමාණයක් ඇති බව සෑහීමකට පත් වීමේන් කිමි 4600 ක් පමණ දුරකට දත්ත රැස් කර තිබිනි. 2008 වසරේදි චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගේ රජයේදී ඉන්දියානු කෙයාන් සමාගම ගිවිසුම් අත්සන් කරන ලද අතර මීටර් 7000 ක් පමණ ගැඔුරට ගවේෂණය කිරිමේන් හයිඩ්‍රෝකාබන ඇති බවට සාක්ෂී ලැබී තිබේ. මෙම ගිවිසුම අනුව කටයුතු කි‌රිම සදහා එවකට රජය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 125ක් පමණ දරා ඇති අතර මෙම කාල පරිච්ඡේදය සදහා විවිධ අවස්ථාවලදි විශාල ආයෝජනයක් කර ඇති බවද සැකයක් නැත. එම රජය විසින් කරන ලද ආයෝජන වල වටිනාකම බොහෝ විට ණය පදනම් මත ලබා ගත් ඒ්වා විය හැක. 

යහපාලන රජය සමයේත් මේ සදහා පර්යේෂණ රැසක් කර ඇති අතර මන්නාරම් ද්‍රෝණියේ බැරකියුඩා සහ තවත් ස්ථානයක මෙම ස්වාභාවික ගෑස් සහ ඛනිජ තෙල් ඇති බව වාර්තා වේ. ලංකාවේ මුල්ම වරට 2023 දි පමණ ස්වාභාවික ගෑස් කැනීම් වලින් ලබා ගත හැකි බවත් 2023 වන දේශීය LNG විදුලි බලාගාර සදහා ස්වභාවික ගෑස් ලබා ගත හැකි බවත් වත්මන් බලශක්ති අමත්‍යාංශ වෙබ් පිටුවේ දැක්වේ. 

මෙම LNG බලාගාරය ස්ථාපනය කිරිමෙන් ජනිත වන විදුලියෙන් විදුලි ඒකකයක් රු 12කට පමණ නිෂ්පාදනය කර ගත හැකි අතර ඩීසල් දහනය කිරිම සදහා ඒ්කකයට රු 20 ක් පමණ වැය වේ. ඒ නිසා ආර්ථික වශයෙන් දැවි තෙල්/ඩීසල් වලට වඩා විදේශ විනිමය ඉතිරියක් කර ගැනීම සදහා විශාල රුකුලකි. විදුලි ඒකකයට නිෂ්පාදන වියදම අඩුවීමේ වාසිය නව සේවකයන් බදවා ගැනීම සහ ඉංජිනේරු සහ විධායකයන්ගේ වැටුප් හෝ දීමනා වැඩි කර ගැනීමට යොදා ගනී නම් මෙම පරිවර්ථනයෙන් ජනතාවය සහනයක් නොලැබේ. මෙහි සහනය ජනතාවට මෙන්ම කර්මාන්ත කරුවන්ට ලබා දුනහොත් නිෂ්පාදන වියදම විශාල අඩු කර ගැනීමෙන් ලංකාවේන් වෙනත් රටවලට ගෙන ගිය කර්මාන්ත නැවතත් ආරම්භ කිරිමටත් එතුලින් රැකියා උත්පාදනය සිදු කර ගැනීමට හැකියාව පවතී. මීට අමතරව පාරිසරික හානි අංශයෙන් සැලකූ විට ගල් අගුරු සහ දැවිතෙල් දහනය සමග සංසන්දනාතමකව සැලකුවහොත්  එම හානිය සාපේක්ෂව අඩුය. 

දැනට ලංකාවේ ක්‍රියාත්මක කරන යුගදනව් ඩීසල් විදුලි බලාගාරය LNG බවට පරිවර්ථනය කිරිම සදහා ගිවිසුම් ගත වන්නේ මේ අතරය. මෙම ගිවිසුම් ගතවීම යුගදනව් බලාගාරය ඇමරිකාවට විකුණා ඇති බවත් විපක්ෂ සහ වෙනත් සංවිධාන චෝදනා කලත් එය සැබෑවක් නොවන බව පැහැදිලිය. ඒ පිළිබදව පහත සටහනේ දැක්වේ.  FORTREES යනු ඇමරිකාවේ පිළිගත් ආයතනයක් වන අතර මෙයින් යමක් ඔවුන්ට නැතිනම් කිසිසේත් ආයෝජනය නොකරයි.  ඔවුන් මෙම ආයෝජනය කර ඇත්තේ සහ ලක්දනව් ආයතනයේ කොටස් මිලදී ගෙන ඇත්තේ වසර 15කට වේ. මේ සමාගම ලංකාවේ ආයෝජනයත් සමග තවත් වෙනත් සමාගම් ලංකාවේ ආයෝජන අවස්ථා සදහා නැඔුරුවීමේ තත්වයක් උද්ගත කරවා ගත හැකි අතර එය රටේ සංවර්ධන කාර්‍යයයට යොදා ගත හැක. මෙම Fortrees ආයතනය සමග ගිවිසුම් ගත වීමේ සිද්ධිය ලංකාවේ මහජනතාවට තේරුම් ගත හැකි අකාරයට මෙය සමස්ථ ආයතනයම විකුණා දැමීමක් නොව භාණ්ඩාරය සතු කොටස් වලින් 40% ක් පමණක් විකිණිමක් පමණක් බවත් ලංකා රජයට සහ අනුබද්ධ ආයතන වලට 75% ක අයිතියක් ඇත යනුවෙන් පැහැදිලි කර නොදීම අභාග්‍යකි.

 

දෙගම්බඩ පහුර | 20210928

 

මුලාශ්‍ර

1. M Aciak, Possibilities of Liquefied Natural Gas (LNG) use for power generation, 214 012138, 2019

2. Jayasekara. Dr Saliya, PROMISING ADVANTAGES OF SWITCHING POWER SECTOR FROM  FUEL OIL/COAL TO LNG, The Official E-Newsletter of the IESL, March 2021, Colombo. 

3. මහින්ද චින්තනය ඉදිරි දැක්ම, 105 වන පිටුව



No comments:

Post a Comment